Читать книгу සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක) - Amy Blankenship, Amy Blankenship - Страница 2
පෙරවදන
Оглавлениеඇන්ජලීස් ජාතික වනාන්තරය භයානක කූගර් සතුන් සහ ආනයනික ජගුවර්වරු නිදහසේ සැරිසරන්නාවූ ඔවුන්ගේ විශාල නිවහනයි. සමහර විටක, පැහැදිලි රාත්‍රීන් හිදී, ඔවුන්ගේ සංඛ්‍යාව කෙටි මොහොතකට වර්ධනය වන්නේ සාමාන්‍ය ලෙස වෘකයෙකු වැනි එක් වර්ගයක සතෙකු බවට පත්විය හැකි පුද්ගලයින්, නැතහොත් ජනප්‍රවාදයන්හි කියවෙන පරිදි තම ස්වරූපයෙන් මාරුවෙන්නන්, ඔවුන්ගේ දුරස්ථ ඥාති සහෝදරයන් අතර මෙම ඝන වනාන්තරයේ සැරිසරන බැවිනි. නගරයේ සිටින මෙම විලෝපිකයන්, දඩයම් කිරීමට, එසේ නැතහොත් ඉතාමත් කලාතුරකින්, මිනිස් තණතීරුව මත විසඳිය නොහැකි සටන් නිරාකරණය කරගැනීමට මෙලෙස ඔවුන්ගේ භූමිය ආක්‍රමණය කරන අතර මෙවිට සැබෑ සතුන් ඔවුන්ගේ ගුහාවල සැඟවී සිටියි.
එම මාරුවෙන්නන් සටන් කරන විට ඔවුන් ඉතා බිහිසුණු වන අතරම ඔවුන්ගෙන් එක් අයෙකු තුවාල ලැබුවහොත්, ඔවුන්ගේ සත්ත්ව සගයන්ට මෙන්ම මිනිසුන්ටද අනතුරුදායක වනු ඇත. ඔවුන් සමග ජීවත් වන සැබෑ මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා, මාරුවෙන්නන් අතර ඇතිවන ආරවුල්, හැකි සෑම විටම එම මිනිසුන්ගේ පරාසයෙන් බැහැරව සිදු කෙරෙන අතර එයට හොඳම ස්ථානය ඔවුන්ගේ ස්වදේශික ගැඹුරු දඩයම් භූමින් තුළ වේ.
අද රාත්‍රියේ වනාන්තරය තුල හොල්මන් සිටින්නාක් මෙන් නිශ්ශබ්ද භාවයකට පත්වූයේ නගරයේ විශාලතම සමාජ ශාලාවේ හිමිකරුවන් දෙදෙනා හීලෑ නොවූ ප්‍රදේශයට ඇතුළු වන විටය. ඔවුන් ඇතුළුවූයේ, ඔවුන්ගේ අභ්‍යන්තරයේ වූ මෘගයාට නිදහසේ දිවීමට ඉඩ දීම සඳහා ඔවුන්ගේ ඇඳුම් ගලවා දමමිනි. ඔවුන් අද රාත්‍රියේ දඩයම් කරමින් සිටියේ, ඔවුන් දෙදෙනාවම විනාශ කළ හැකි වැම්පයරයෙකුගේ සොහොනයි.
කිසිම මිනිසෙකුට හඬක් නොඇසෙන්නාවූ ඝන වනාන්තරය තුළ, කුඩා ජගුවර් වංශයක නායකයා වූ මලාකී, අන්ධකාරය මැදින් දිව ගියේ තම සතුරා දෙසටය… තම හොඳම මිතුරාට වඩා විශ්වාස නොකළ යුතුව තිබුනාවූ මිනිසෙකු දෙසට. ඔහුගේ ඉලක්කය තවත් මාරුවන්නෙකි, එනම් කූගර් රුධීරය ඔහුගේ නහර හරහා දිවෙන නතානියෙල් විල්ඩර් වෙත… පසුගිය අවුරුදු 30 තුළදී ඔහුගේ ව්‍යාපාරික සහකරු.
මලාකී වනාන්තරයේ එළිමහන් ප්‍රදේශයකට පිවිසෙන විට නතානියෙල් මිනිස් ස්වරූපයෙන් ඔහු දෙස බලා සිටිනු දුටුවේය. ඔහු පියවර කිහිපයක් ඉදිරියට ගත්විට, මලාකී සිය මිනිස් හැඩයට නැවත පැමිණුන අතර, ඔහුට එය දැනුනේ එක් ස්වරූපයකින් තවත් ස්වරූපයකට ඇවිද යාමක් ලෙසටය. ඔවුන් කුමන ස්වරූපයකට මාරු වුවද ඔවුන් දෙදෙනාම මාරාන්තික වූහ. මිනිසුන් වශයෙන් ඔවුන් දෙදෙනාම තම මෘදු සම යට යකඩ වැනි මාංශ පේශින්ගෙන් යුතු කුසලතා ඇත්තෝ වූහ. මාරුවන්නන්ගේ වයසට යාම මන්දගාමී වූ අතර දෙදෙනාම වයස අවුරුදු 50 ඉක්මවා ගිය අය වූවද 30 හැවිරිදි වියේ පෙනුමකින් යුතු වූහ.
මෙය හොලිවුඩ් චිත්‍රපටයක් වූයේ නම්, එය දළ වශයෙන් වෙනස් කිරීමට මිනිත්තු කිහිපයක් ගතවනු ඇත, නමුත් මෙය යථාර්ථයක් වූ අතර මෙම එළිමහන් ප්‍රදේශයේ අරුම පුදුම බියකරු සත්ත්වයින් නොසිටියහ. තම නිරුවත් භාවය මාරුවෙන්නෙකුට වැදගත් දෙයක් නොවූ අතර ඔවුන්ට ඉහල අහසේ කළු වලාවන් අතරින් පැමිණි චන්ද්‍රාලෝකය, ඔවුන් දෙදෙනා දෙසට එල්ල කල විදුලි ධාරාවක් මෙන් ඔවුන් මත පතිත වී තිබිණි.
නතානියෙල් තම මිතුරා සමඟ තර්කානුකූලව කතා කිරීමට උත්සාහ කරමින් කීවේ “මේ දේ මෙහෙම වෙන්න ඕනේ නැහැ.” කියායි. "මට ඇහුන්කම් දෙන්න! ඒක අවුරුදු තිහකට ඉස්සර, අනික දැන් තත්වය වෙනස් වෙලා තියෙන්නේ… මම වෙනස් වෙලා ඉන්නේ.”
“අවුරුදු තිහක් වටින බොරු ගොඩක්!” මලාකී ගිගුරුම් දුන් අතර ඔහුගේ කටහඬ එළිමහනේ දෝංකාර දුන්නේය. ඔහුගේ බැල්ම, ඔහු කේන්ව වලදැමූ ස්ථානය වෙත යොමුවූ අතර ඔහුගේ ඇස්වලට තෙතමනයක් පැමිණි බව ඔහුට දැනුනි. “ඔයා නිසා, මම කේන්ව කුණු ගොඩකට බැන්දා… ඔයා හින්දා මම අවුරුදු තිහක් තිස්සේ එයාව අත්හැරියා!”
“මට එයාව හාරන්න ඉඩ දෙන්න බැහැ, මලාකී! ඔයා දන්නවා එහෙම කලොත් මොකක්ද වෙන්නේ කියලා.” මලාකී කලක් තම හොඳම මිතුරා වූ මිනිසාගේ සොහොන දෙස අසාවෙන් බලා සිටියදී නතානියෙල් නොසන්සුන්ව බලා සිටියේය. ඔහු එය කිසි විටෙකත් තේරුම් ගෙන නොතිබුණි. කේන් වැම්පයරයෙකු වූ අතර භයානක කෙනෙකුද විය.
ජගුවර් සහ කූගර් අතර ඇතිකර ගත් හවුල්කාරිත්වයට බාධා වූ කාරණා දෙකෙන් එකක් කේන් විය… කේන් සහ මලාකීගේ ලස්සන, රැවටිලිකාර, වංචාකාරී බිරිඳ කාලෝටා. නතානියෙල් ඇයට මුලින්ම ආදරය කර තිබුණි. කාරණා මේ ආකාරයෙන් සිදුවේ යැයි ඔහු බලාපොරොත්තු නොවීය. අවසානයේදී, නතානියෙල් ඊර්ෂ්‍යාවෙන් කෝපයෙන් එම ගැටලුව විසඳා තිබුණි… එක් හදිසි කඩා වැදීමකින් කුරුල්ලන් දෙදෙනෙකු මැරීම.
“එයා මගේ හොඳම යාලුවා, ඒ වගේම එයා මාව පාවා දුන්නෙත් නැහැ! ඔයා තමයි මගේ පිටට පිහියෙන් ඇන්නේ!” මලාකී කෝපයේ කඳුළු සඟවා ඔහු පැළඳ සිටි කරාබුව ස්පර්ශ කළේය; කේන්ගේ කරාබුව. ඔහු කළේ කුමක්ද? කේන් තම මියගිය බිරිඳ වෙත නැමී සිටිනු බව දුටු විට, කේන් මිනීමරුවා බව නතානියෙල් තහවුරු කරන තුරු ඔහු ව්‍යාකූලත්වයට පත්වී සිටියේය.
ඇය මේ ස්ථානයේදී මියගොස් සිටි නිසා ඔහු සිතුවේ කේන්ව මේ භූමියට බැඳ තැබීම සුදුසු බවයි… මේ පසටම. ඔහු කේන්ගේ මන්ත්‍ර සඳහන් පොත සොරකම් කර, පළිගැනීම සඳහා එය ඔහුට එරෙහිව භාවිතා කළේය.
ඔව්, නතානියෙල් එක දෙයක් ගැන නිවැරදි විය. බොහෝ වැම්පයර්වරු නපුරු වූ නමුත් ඉතා සුළු පිරිසක් එසේ නොවුහ. කේන් ඔවුන්ගෙන් එක් අයෙකි. නමුත් ඔහු කළ දෙයට වඩා නපුරු කිසිවක් නැත. මෙම මන්ත්‍රය ආපසු හැරවිය හැක්කේ කේන්ගේ ආත්ම සහකරුට පමණි.
මලාකි ඒ වන විට එය විහිළුවක් ලෙස සැලකුවේ කේන් කිසිදා වයසට නොගියත් ඔහුගේ ආත්ම සහකාරිය එවිටත් හමුවී නොසිටි බැවිනි. අතීතයේ දී, ඔහු සහ කේන් බොහෝ විට විහිළු කරමින් කතා කළේ එවැනි කාන්තාවක් කිසි දිනෙක උපත නොලබන බවයි. ‘දෙවියන්ට, කවදා හෝ එයාගේ සමහර ක්‍රියා වලට එකඟ වන ගැහැණු කෙනෙක් නිර්මාණය කරන්න හාස්‍යජනක හැඟීමක් තියෙන්න ඕනේ’ යනුවෙන් තමන් කියූ දෙයට කේන් සිනහවූ ආකාරය ඔහුගේ මනසට මැවී පෙනුනි.
"එයා ගොඩාක් කල් ඉඳන් ඔතන යට ඉන්නේ." නතානියෙල් අනතුරු ඇඟවීය. “ඒ මුළු කාලයම ලේ වලට තියන ආසාවෙනුයි, උමතුවෙනුයි එයාව මෙහෙයවනවා… ඔයා දැන් කේන්ව නිදහස් කලොත් එයා අපිව මරයි.”
මලාකී තම හිස සොලවා නතානියෙල් දෙස බැලුවේය. “එයාට මාව විතරයි මරන්න වෙන්නේ, මොකද ඔයා එතකොටත් මැරිලා හින්දා.”
නිකුත් කළ තර්ජනයත් සමඟ දෙදෙනාම යළිත් වරක් ඔවුන්ගේ සත්ව ස්වරූපයට මාරු වූහ.
*****
දඩයම් කිරීම ප්‍රවේශමෙන් පාලනය කරන විශාල භූමි ප්‍රදේශයට යාබදව පිහිටි කඳවුරු භූමියේ අද්දර, තබතා කිං නොහොත් සියල්ලන්ම ඇයව අමතන්න ආකාරයට ටැබී, තම දෙමව්පියන්ගේ දැවැන්ත කූඩාරමේ වාහනයේ පඩි මත හිඳගෙන ඝන වලාකුළු අතරින් එබී බලන තාරකා දෙස බලා සිටියාය. ඇය තම නළලට වැටී තිබූ කෙස් රොදවල් හුස්ම පිඹ ඉවත් කරමින්, මෙතෙක් වේලා තිබූ වැස්ස නතරවීම ගැන සතුටු වූවාය.
ඇය කඳවුරු බැඳගෙන සිටි පළමු අවස්ථාව මෙය වන අතර ඇයට කිරීමට අවශ්‍ය වූ අවසාන දෙය වූයේ තම සුවපහසු විනෝදකාමී වාහනය තුලටවී සිටීමයි. ඇය මෙම සංචාරය ගැන බෙහෙවින් සතුටට පත්වූ අතර පවුලේ කුඩා සුනඛයා වන ස්ක‍්‍රැපීව රැගෙන ඒමට ඔවුන් එකඟ වූ විට වඩාත් සතුටට පත්වූවාය. ඇයට ඒ සඳහා බොහෝ අයැදීම් කිරීමට සිදුවූ නමුත් ඇගේ කුඩා හොඳම මිතුරා වන යෝර්කි වර්ගයේ බලු පැටියා රැකබලා ගන්නා බවට පොරොන්දු වීමෙන් පසු, ඇය අවසානයේ ඇයගේ දෙමාපියන්ගේ අකමැත්ත මැඩලීමට සමත් වූවාය.
ස්ක‍්‍රැපී මේ වන විට අන්ධකාරය දෙස බලා බුරමින් සිටියේය. ඔහුව බැඳ තිබූ දම්වැලෙන් මිදී ඔහුගේ අවධානයට ලක් වූ සෙවණැලි පසුපස හඹා යෑමට ඔහු කැමති විය. ස්ක‍්‍රැපී හදිසියේම ඔහුගේ දම්වැලෙන් මිදී පලා ගිය විට කුඩා දැරිය තදින් හුස්ම ගත්තාය. කඳවුරු භුමිය, දඩයම් කිරීම පාලනය කරන ලද විශාල භූමි ප්‍රදේශයෙන් වෙන් කළ වැටේ, පතුලේවූ කුඩා විවරයක් තුලින් බලු පැටියා පැන යනවිට ඇය වානේ පඩිපෙළ මත සිටගෙන සිටියාය.
“ස්ක‍්‍රැපී එපා!” ටැබී කෑගසමින් බල්ලා පසුපස දිව ගියාය. බල්ලාව නැතිකර නොගන්නා බවට ඇගේ දෙමාපියන් ඇයව විශ්වාස කර තිබුණි. වැට අසල නතර වූ ඇය ගස්වල අඳුර දෙස බලා තදින් ආශ්වාස කළාය. “මම බයගුල්ලෙක් නෙමෙයි” කියමින් ඇය විවරය විමර්ශනය කිරීම සඳහා දනින් වැටීමට පෙර අධිෂ්ඨානයෙන් යුතුව ඇයගේ පහළ තොල සපා ගත්තාය.
කුඩා සීරීම් කිහිපයක් සමගින්, ඇයද වැටෙහි එම සිදුර තුලින් රිංගා ගිය අතර වනාන්තරයේ දුරින් ඇසුනාවූ බල්ලාගේ බිරීම් හඬ ඔස්සේ ඒ දෙසට දිව ගියාය. “ඔයා මාව කරදරයක දායි වගේ” ඇය තදින් හඬ නඟා පවසා, ඇගේ දිවෙන් ශබ්ද කරන්නට පටන් ගත්තේ බලු පැටියා නිතරම එම ශබ්දයට තමන් වෙත පැමිණෙන බව දැනසිටි නිසාය.
“ටැබී, ඔයා කොහෙද?”
ඇය පිටුපසින්, තබතාට ඇගේ මවගේ ඇමතීම ඇසුණු නමුත් ඇය වැඩි කැමැත්තක් දැක්වූයේ ඇගේ බල්ලා නැවත කඳවුරට ගෙන ඒමට ය. ස්ක‍්‍රැපී ඇගේ බල්ලා වූ අතර ඔහු බලාගැනීම ඇයගේ යුතුකම විය. එබැවින් ඇය නැවත ඇගේ මවට හෝ බලු පැටියාට කතා කරනවා වෙනුවට මදක් නිශ්ශබ්දව සිට ස්ක‍්‍රැපීගේ උස් හඬින් කෙරුනාවූ බිරීම පසුපස ගියාය.
වැඩි වේලාවක් යාමට පෙර තබතාට, විනාඩියක් පමණ නතර වී ඇගේ හුස්ම අල්ලා ගැනීමට සිදුවිය. ඇය ගසකට හේත්තු වී ඇගේ අපිරිසිදු දණහිස් මත අත් තබා හුස්ම ගනිමින් වනාන්තරයේ හඬට සවන් දුන්නාය. ඇයට සැමවිටම අවශ්‍ය වූයේ කැලෑව මැද සිටගෙන රූපවාහිනියේ චිත්‍රපටවල සිටින ඉන්දියානුවන් කරන්නාක් මෙන් සවන් දීමටයි.
මඳ වේලාවකට වෙන්ව තිබූ වැසි වලාකුළු නැවතත් එක්වී මෙතෙක් වෙලා තිබූ දීප්තිමත් සඳ එළිය හදිසියේම අතුරුදහන් විය. ඇයට තවදුරටත් කඳවුරේ තිබූ විදුලි පහන් ආලෝකය නොපෙනෙන බව දුටුවිට ඇයගේ දෑස් විශාල විය.
අවිනිශ්චිත පියවරක් ඉදිරියට තබමින් ඇය වටපිට බැලූ නමුත් ඇය දුටුවේ අන්ධකාරය, යන්තම් හඳුනාගත හැකි ගස්වල කඳන් සහ අඳුරු සෙවනැලි පමණි. ඇයට තරමක් පිටුපසින් යම් දෙයක් ගෙරවිලි හඬක් නගමින් ඉවතට ඇදී යන විට ඇය බයෙන් ඉකිගැසුවාය. ඇය එම දිශාවට අකමැති බව තීරණය කරමින් ඇය පසුපස හැරී නොබලා දිව්වාය.
සදාකාලයක් සේ හැඟුනාවූ කාලයකට පසුව ඇයට ස්ක‍්‍රැපීගේ බිරුම් හඬ නැවත ඇසුණු අතර, ඇය පිටුපසින් ගෙරවූ දෙය තමා පසුපස හඹා නොඑනු ඇතැයි සිතා ඇය බල්ලාගේ හඬ පැමිනි දෙසට නැවතත් දුවන්නට ගත්තාය. ඇයට තවත් ගෙරවීම් හඬක් ඇසුන නමුත් මෙවර එය ඇසුනේ ඇයගේ ගමන් මාර්ගයේ ඉදිරියෙනි.
ඇගේ විලුඹ පොලවට තද කිරීමෙන් තම ගමන නැවැත්වීමට ඇය උත්සාහ කළ නමුත් පොලව, ලිස්සන සුළු කොළ වලින් සහ වර්ෂාවෙන් පසු ඇතිවී තිබූ මඩින් වැසී ගොස් තිබිණි. නවතිනවා වෙනුවට ඇය තවදුරටත් ලිස්සා ගිය අතර කිසිවක් කරගැනීමට නොහැකිවූ ඇය බෑවුමකින් පහළට ලිස්සී ගියාය.
ඇය වැටී තිබුන ගසක ගැටුන විට ඇයගේ ලිස්සායාම නතර වූ අතර ඇතිවූ කම්පනයෙන් ඇයගේ හුස්ම ඇයගෙන් පිටතට විසිවිය. ඇගේ හුස්ම යලිත් ගැනීමෙන් පසු ඇයට හැඟුණු පළමු දෙය නම් ස්ක‍්‍රැපී තවදුරටත් බුරන්නේ නැති බවය. ඇයට නැවතත් ගෙරවීම ඇසුන බැවින් ඇය ඉක්මනින් කඳු මුදුන දෙසට නැගීමට පටන් ගත් අතර එවිටම ඇයට මෘදු කෙඳිරිගෑමක් ඇසුනි. දණ ගාමින් සිටි ඇය, වැටී තිබූ ගසේ කඳට ඉහළින් බැලූ විට සඳ එළිය කෙළින්ම වැටී බැබළෙන කුඩා එළිමහන් ප්‍රදේශයක් දුටුවාය.
එම එළිමහන මාධ්‍යයේ ස්ක‍්‍රැපී සිටි අතර නිවසේ සිටියදී වීථියේ බල්ලෙකු විසින් සපා කෑ අන්දමට ඔහු කෑගසමින් සිටියේය. බලු පැටියා බිම පැතලි ආකාරයට වැතිරී සිටිමින් පසුපසට බඩගා ගියේය. ඒ ඇයි දැයි දුටු ඇගේ නිල් පැහැති ඇස් පුළුල් විය. එළිමහන් බිමෙහි සතුන් දෙදෙනෙකු සෙමෙන් එකිනෙකා දෙසට ගමන් කරමින් සිටි අතර ස්ක‍්‍රැපී හරියටම ඔවුන් මැද විය.
“අපොයි,” ටැබී ඇගේ හුස්ම යටින් කතා කළේය.
ඇය මෙම සංචාරය යාමට පෙර ඇගේ පියා විසින් පෙන්වන ලද ඡායාරුප මගින් එම සතුන් හඳුනා ගත්තාය. එක් අයෙක් කූගර් කෙනෙකු සහ අනෙකා රූපවාහිනියෙන් දැක ඇති පරිදි හඳුනා ගත්තාය… ජගුවර් කෙනෙක්. ඇය සත්ව සංදර්ශන නැරඹීමට ප්‍රිය කළ අතර රූපවාහිනියේ සතුන් එකිනෙකාට පහර දීමට උත්සාහ කරන විට ඇගේ මව මෙන් පිළිකුලට පත් නොවූවාය. නමුත් මෙහි තත්ත්වය වෙනස් විය… මෙය සැබවින්ම මෙන්ම තරමක් බියජනකද විය.
ඔවුන්, ඔබව අනුභව කළහැකි විශාල බළලුන් වූහ. එම සුන්දර සතුන් තම උගුරේ ගැඹුරින් ගොරවමින් එකිනෙකා වටා රවුමට කැරකුණ අතර ඔවුන්ගේ දෑස් විශාල රන් පදක්කම් මෙන් දිදුලමින් තිබිණි. ඔවුන්ගේ මාරාන්තික ශබ්දය හමා එන සුළඟ මගින් තබතා වෙතට ඇදී ආවේ ඇය ගෟෙරව සම්ප්‍රයුක්ත බියකින් ඔවුන් දෙස බලා සිටියදීය.
“එන්න ස්ක‍්‍රැපී,” ඇය සිමිහිට පැවසුවේ විශාල බළලුන් හට එය නොඇසෙයි කියා සිතමිනි. “එයාලගෙන් එක්කෙනෙක්ට ඔයාව පෑගෙන්න ඉස්සෙල්ලා ඔතනින් එන්න.” ඇය කියන්නට සිතුවේ ‘ඔයාව කන්න ඉස්සෙල්ලා’ කියා වුවත්, ඒ වන විටත් බයවී සිටි අහිංසක බලු පැටියා තවත් බිය ගැන්වීමට ඇයට අවශ්‍ය නොවීය.
බළලුන් දෙදෙනා හදිසියේම තදින් කෑගැසූ අතර තබතා ඇගේ දෙඅත්ලින් තම දෙකන් වසාගත්තේ එය අති බිහිසුණු ශබ්දයක් වූ නිසාය. ඔවුන් එළිමහන් බිම හරහා එකිනෙකා වෙත වේගයෙන් දිව ගිය අතර, ස්ක‍්‍රැපී ඔහුගේ වලිගය ඔහුගේ කකුල් අතර සඟවා බියෙන් මිරිකෙමින් සිටියේය.
කම්පනයට පත්ව සිටි තම බලු පැටියා දුටු තබතා ගසට උඩින් පනිමින් ඇයට හැකි උපරිම වේගයෙන් ස්ක‍්‍රැපී දෙසට දිව ගියාය. ඇය බළලුන්ට වඩා ස්ක‍්‍රැපීට සමීප වූ අතර ඇය බල්ලා වෙතට පැන ඔහුගේ කුඩා සිරුර ඇයගේ සිරුරින් ආවරණය කල අතර සතුන් දෙදෙනා උඩට පැන ඇයට කෙළින්ම ඉහළ අහසේ එකිනෙකා හා ගැටුනෝය.
“කරුණාකරලා, මගේ බල්ලට රිද්දන්න එපා!” ඇය කෑගැසුවාය.
තියුණු නියපොතු ඇගේ අත සූරන විට සහ තවත් අතකින් ඇයගේ පිටෙහි සම සීරී යන විට ඇය නැවතත් කෑගැසුවාය. බළලුන් ඇගේ පිටුපසින් බිම ඇද වැටුනේ ඇටකටු බිඳෙනසුළු ශබ්දයක් සමග වූ අතර ඔවුන් තවමත් එකිනෙකා වෙත ගොරවමින් කෑගසමින් සිටියහ. තමාට අඩි කීපයක් පිටුපසින් සටන් කරන සතුන් දෙස බැලීමට එඩිතර නොවී, මෘදු ලෙස කෙඳිරිගාමින් සහ වෙව්ලමින් සිටි ස්ක්‍රැපීව තම සිරුරින් ආවරණය කරමින් ඇය වකුටුවී සිටියාය.
තබතා තමා සිටි ස්ථානයෙන් සෙලවීමට බිය වූ අතර බල්ලාව හැකි තරම් තදින් අල්ලා ගත්තාය. ඇගේ දෑස් තදින් පියාගෙන සිටිමින් බළලෙකුගෙන් තමාටද හානි සිදුවුවහොත් දුව ගොස් උදව් ලබා ගන්නා ලෙස ස්ක‍්‍රැපීට හිමිහිට කීවාය. ඇගේ පිටට තෙත් සහ උණුසුම් යමක් වැටුන බව දැනුනද ඇය නොසෙල්වී සිටියාය. අවසානයේදී, සටන නතර වූ අතර ඇයට තම උරහිසට ඉහළින් බැලීමට අවස්ථාවක් ලැබුණි.
ඇයගේ පිටුපස ලේ වැගිරෙන මිනිසුන් දෙදෙනෙකු වැටී සිටිනු දුටුවිට ඇය කම්පා වී හඬන්නට පටන් ගත්තාය. තබතා ඉතා සෙමෙන් ස්ක‍්‍රැපී තම දෑතින් ගෙන දණගසා, සිමින් පසුපසට යන්නට පටන් ගත්තාය. කූගර් සහ ජගුවර් ගියේ කොහාටද? ඔවුන් මේ මිනිසුන් දෙදෙනාට පහර දී පලා ගියාද? පිරිමින් ඇඳුම් ඇඳ නොසිටියේ ඇයි?
නතානියෙල් හදිසියේම තම දෑස් විවර කර ඉතා තියුණු දත් ඇය වෙත විලිස්සුවේය.
තබතා බයින් පසුපසට ඇලවී ගිය නමුත් ඇයගේ දෙපා වාරු කරගැනීමට සමත්වූවාය. මිනිසාගේ කෑගැසීම කූගර් වරයෙකුගේ හඬට සමානවූ අතර බියවූ ස්ක‍්‍රැපී ටැබීගේ දෑතින් පිටතට පැනගත්තේය. ඔහු බියෙන් කෑගසමින් යලි වනාන්තරයට පලා ගියේය.
මලාකීගේ ශරීරය ගැහෙමින් තිබූ අතර ඔහුගේ පපුවෙන් ලේ ගලා ගියේය. ඔහු කට ඇර කුඩා දැරිය දෙස බලා එක් වචනයක් කීවේය.
“දුවන්න!” ඔහුගේ කටහඬ අවසන් වූයේ කන් ඉරායන ජගුවර කෑගැසීමකිනි.
තබතා කීකරු වීම ගැන දෙවරක් නොසිතුවාය. ඇය අනිත්පස හැරී, පිටුපස නොබලමින් එළිමහනෙන් පිටතට දිව ගියාය. ඇය යන්නේ කොහේදැයි යන්න ගැන ඇය සැලකිලිමත් නොවූවාය; අවශ්‍ය වූයේ ලේ වලින් වැසී ගිය බිහිසුණු මිනිසුන්ගෙන් හැකිතරම් ඈත්වීම පමණි.
*****
“ස්තූතියි, දැන් දේශීය ප්‍රවෘත්ති. අද රාත්‍රියේ ප්‍රාදේශීය පවුලකට සතුට සැමරීමට හේතුවූ කාරණාවක් තිබුණි. මීට දින තුනකට පෙර ක්‍රිස්ටල් විල අසල කඳවුරක සිටියදී පවුලේ සුනඛයා සොයා ගැනීම සඳහා වනාන්තරයට ගොස් අතුරුදහන්ව සිටි ඔවුන්ගේ දියණිය වන තබතා, ඇන්ජලීස් ජාතික වනාන්තරය තුළ ඉලක්කයක් නොමැතිව ඉබාගාතේ ඇවිදිමින් සිටියදී සොයාගෙන ඇත. දින තුනකට පෙර ඇයගේ බල්ලා තම දම්වැලෙන් මිදී වනාන්තරයට දිව ගොස් ඇත. හත් හැවිරිදි දරුවා ධෛර්ය සම්පන්නව බල්ලා පසුපස හඹා ගොස් තිබූ අතර අද උදෑසන වන තෙක් ඇය සොයා ගැනීමට නොහැකි විය. අවාසනාවට, ඇය හමුවන විට බල්ලා ඇය සමග නොසිටියේය. බලධාරීන් පවසන පරිදි, මේ වනවිට ඇය ප්‍රජා රෝහලේ සිටිමින් කම්පන තත්වයෙන් සුවය ලබමින් සිටින අතර, ඇය කූගර් ප්‍රහාරයකින් දිවි ගලවාගෙන ඇති බව පෙනේ. කුඩා තබතා වනාන්තරය තුලදී දැක තිබූ තුවාල ලැබූ මිනිසුන් දෙදෙනෙකු ගැන දිගින් දිගටම වනාන්තර ආරක්ෂක නිලධාරීන්ට පැවසුවද වර්ග සැතපුම් පන්දහසක් පමණ වූ ප්‍රදේශයේ ඔවුන්ව සොයා දැඩි මෙහෙයුමක් සිදුකලද කිසිවක් සොයා ගැනීමට නොහැකි විය. ඊළඟ පැයේදී තවත් විස්තර අපි ඔබ වෙතට ගෙනෙන්නෙමු.”